ජනාධිපති ලෙස පත් වූ පසු ගෝඨාභය විසින් නිදොස් කොට නිදහස් කරන්නට සැරසෙන්නේත්, සජිත් විසින් ආරක්ෂා කරන්නට තැත් කරන්නේත් මෙවැනි “රණවිරුවන්” ද?

iMAGE: Vikalpa

පසුගිය සතියේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) / නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (න.ප්‍ර.පෙ) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ඔහුගේ ප්‍රධානතම එදිරිවාදියා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂගෙන් යුද්ධය අවසානයේ හමුදාවට භාර වීමෙන් පසුව අතුරුදන් වූ දෙමළ ජාතිකයන් ගැන මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න පිළිබඳව ද සඳහන් කළේය. වගකිවයුතු යුද අපරාධ කළවුන් පිළිබඳව කතා කිරීම වෙනුවට සජිත් කළේ ඔවුන්ව “රණවිරුවන්” බවට හඳුන්වා, ගෝඨාභයට දේශපාලනිකව පහර දීමට එම ප්‍රශ්නය යොදාගැනීමයි. ගෝඨාභය මෙන්ම ඔහුට ද, අසන ලද ප්‍රශ්නවල හරය හෝ තම ආදරණීයයන් සොයමින් සිටින පවුල්වල වේදනාව සහ අරගලය අදාළ වූ බවක් නොපෙනුණි. සතිය ආරම්භයේ දී, ගෝඨාභය ඔහුට එල්ල වූ ප්‍රශ්න මඟහැර යාමට උත්සාහ කළ අතර, පසුව ඔහු ඒ චෝදනා ප්‍රතික්ෂේප කරමින් එය අතීතයට අයත් ප්‍රශ්නයක් බව ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ අතුරුදන් වූ ආදරණීයයන් සොයා දියත් කර ඇති අරගලය වර්තමානයට හා අනාගතයට අදාළ ප්‍රශ්නයක් බව නොසලකා හරිමිනි.

එහි දී මූලික වශයෙන්ම සිදු වූයේ ගෝඨාභය සහ සජිත් යන දෙදෙනාම අන්‍යයන්ට දොස් පවරමින් ශ්‍රී ලාංකීය ඡන්දදායකයන් ගොන්නට අයත් වන අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් හට ඔවුන් ට කියාසිටින්නට ඇත්තේ කුමක්ද යන්න මඟහැරීමයි.

ශ්‍රී ලංකාව තුළ සිදු වූ අතුරුදන් වීම් සහ හමුදාව

ආණ්ඩුවේ වාර්තා අනුව, අතුරුදන් වීම් පිළිබඳව රාජ්‍ය ආයතනවලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ගණනින් 65,000 ඉක්මවයි. 1980 දශකය අගභාගයේ සිංහල තරුණ-තරුණියන් විශාල ප්‍රමාණයක්, එකල පැනනැගුණු දෙවන ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල යන සන්දර්භය මත පිහිටා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජය යටතේ අතුරුදන් කිරීමට ලක්විය. 1990 දශකය ආරම්භයේ සිට, දෙමළ ජාතිකයන් විශාල ප්‍රමාණයක්, උතුරු හා නැගෙනහිර පළාත් පාදකව සිදු වූ යුද සන්දර්භය මත පිහිටා, එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යටතේ අතුරුදන් කිරීමට ලක්විය.

අතුරුදන් වූවන් අයත් සිංහල සහ දෙමළ පවුල් බොහොමයක් ඔවුන්ගේ ආදරණීයයන්ගේ වියෝව සඳහා වගකිවයුත්තේ ශ්‍රී ලංකා හමුදාව සහ ආයුධ සන්නද්ධ අතුරු හමුදා කණ්ඩායම්යැ’යි විශ්වාස කරති. සමහර පවුල් එවැනි අතුරුදන් කිරීම් සඳහා වගකිවයුත්තන්ගේ නම් සහ ඒකක ද ප්‍රකාශ කිරීමට තරම් කරුණු දැනසිටිති. මානව හිමිකම් කොමිසම විසින් පත්කළ විශේෂ කමිටුවක් විසින් සාක්ෂි සහිතව සොයාගෙන ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයන් හමුදාව විසින් සිය රැඳවුම් භාරයට ගෙන ඇතත්, ඔවුන්ව නිදහස් කළ බවට හෝ වෙන යම් තැනක රඳවා ඇති බවට හෝ ඔවුන් ජීවතුන් අතර ඇති බවට සාක්ෂි සාධක නොමැති බවයි. කෙසේ වුව ද, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සඳහා වන මුල්ම දඬුවම් පැනවීමක් ලෙස සැලකෙන්නේ සජිත්ගේ පියා ජනාධිපති ධුරය හොබවන කාලයේ සිදු වූ ඇඹිලිපිටියේ සිංහල සිසුන් කණ්ඩායමක් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හමුදා නිලධාරීන් පිරිසකට දඬුවම් නියම කිරීමයි.

ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස ඔහුගේ ජනාධිපති සොහොයුරා යටතේ කටයුතු කරන සමයේ සිදු වූ අතුරුදන් කිරීම් සඳහා වරදකරුවන් කළ හැකි තරමේ සාක්ෂි, පාබල හමුදා සහ නාවික හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව මෑත කාලයේ අප දුටුවෙමු. අප රටේ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා යනු අපරාධ සැකකරුවෙකුට රැකවරණ දීම ගැන සහ අතුරුදන් වීම් පිළිබඳව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීම ගැන චෝදනා ලබා අත්තඩංගුවට පත් වූ පුද්ගලයෙකු වන අතර, අපගේ වත්මන් හමුදාපතිවරයා යුද්ධයේ අවසන් භාගයේ දී යටත් වීමෙන් පසුව අතුරුදන් වූ දෙමළ ජාතිකයන් පිළිබඳ කාරණය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති, එම යටත්වීම් ගැන අධීක්ෂණය කළ ඒකකයේ එවකට අණදෙන නිලධාරීවරයා ය.

යුද්ධයේ අවසන් භාගයේ දී හමුදාවට යටත් වූ දෙමළ ජාතිකයන් දහස් ගණනකගේ අතුරුදන් වීම, අතුරුදන් වීම් පිළිබඳ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම සහ අතිශයින්ම අත්තනෝමතික සිදුවීම්වලින් එකක් ලෙස තවමත් සැලකෙනුයේ  ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ බලවත් කටඋත්තර පවතිද්දීත්, බරපතල ලෙස විනිර්මුක්තිය රජකරවමිනි. හේබියස් කෝර්පස් නඩුකර තවමත් අධිකරණවල විභාග වෙමින් පවතී.

රාජපක්ෂ පාලනය විසින් පත්කරන ලද උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) සහ පරණගම කොමිසම වැනි පශ්චාත් යුද විමර්ශන කොමිෂන් සභාවලින් ද නිර්දේශ කර තිබුනේ මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. 2018 වසරේ ජුනි මාසයේ දී අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ට්වීට් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ “යටත් වූවන් අතුරුදන් වීම පිළිබඳ ප්‍රශ්නය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇති කාරණයක් බව” අතුරුදන් වූවන්ගේ පවුල්වලට ඔහු විසින් පැහැදිලිව ප්‍රකාශ කළ බවකි. 2018 අගෝස්තු මස නිකුත්කරන ලද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ පළමු අතුරු වාර්තාව හරහා ද “2009 මැයි මස හමුදාවට භාර වූ බවට වාර්තා වී ඇති පුද්ගලයන් ඉන්පසුව අතුරුදන් වීම සම්බන්ධයෙන් වන පැමිණිලි සඳහා ප්‍රමුඛතාව ලබා දීම” ගැන පොරොන්දු වී තිබුණි. නමුත් අතුරුදන් වූවන්ගේ පවුල්වලට නම් ඒ ගැන ධනාත්මක ප්‍රතිඵල නොලැබුණු තරම් ය.

අභියෝග

මැතිවරණ යනු බලාපොරොත්තු ඉහළ නැංවිය යුතු සහ ඉහළ නැංවිය හැකි කාලසමයකි. නමුත් 2019 ජනාධිපති මැතිවරණ ව්‍යාපාර කිසිවක් මේ වන තුරුත් අතුරුදන් වූවන්ගේ පවුල්වලට කිසිදු බලාපොරොත්තුවක් ලබා දී නැත. ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම (සජිත්, අනුර සහ මහේෂ්) සිවිල් සමාජ කණ්ඩායම්වලින් සහයෝගය ලබනමුත්, අතුරුදන් වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් කැප වී හෝ ප්‍රමුඛතාව ලබා දී කටයුතු කිරීම සඳහා ඔවුන් සහය දෙන අපේක්ෂකයන්ව මේ වන තෙක් පොළඹවාගැනීමට ඔවුනට හැකියාවක් ලැබී නැති බව පෙනී යයි. මේ අතර සිටින එකම කාන්තා ජනාධිපති අපේක්ෂිකාවවත්, මෑතකාලීනව මෙරට තුළ ක්‍රියාත්මක වන, වින්දිතයන් විසින් මෙහෙයවනු ලබන ශක්තිමත්ම ව්‍යාපාරයේ කොටස්කරුවන් වන අතුරුදන් වූවන්ගේ පවුල් වෙනුවෙන් සිය සහයෝගය පළකර නොමැත.

අතුරුදන් වූවන්ගේ පවුල් – විශේෂයෙන්ම යටත් වීමෙන් පසු අතුරුදන් වූවන්ගේ පවුල් – යටත් වීමෙන් පසු ඔවුන්ගේ පුත්තු, දියණියන්, සැමියන්, මුණුබුරු මිණිබිරියන් ආදීන් ට සිදු වූයේ කුමක්ද යන්න විමසීම සඳහා දුෂ්කර ලෙස, එහෙත් අධිෂ්ඨානශීලීව සහ ධෛර්යසම්පන්නව සිය අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයමින් සිටිති. ඔවුන් ජනාධිපති, ඇමතිවරු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් සහ විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවීමට අමතරව, අපමණක් වූ මාධ්‍යවේදීන් හා පර්යේෂකයන් හා කතාබහ කර ඇත, එමෙන්ම අධිකරණවල නඩු ද පවරා ඇත.

දින 1000කට ආසන්න කාලයක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන එන මහමඟ විරෝධතා ආරම්භ කර මෙතෙක් ගත වූ කාලය තුළ 50කට අධික පිරිසක් මරණයට පත්ව ඇත. අනෙක් විරෝධතාකරුවන් ද නොයෙක් අසනීප තත්ත්වයන්ගෙන් පෙලෙන අතර, ඔවුන්ගේ ළබැඳියන්ට සිදු වූයේ කුමක්ද යන්නවත් නොදැන තව පිරිසක් මිය යා හැක. “යුද විරුවන්” යන වාගාලංකාරය යොදාගනිමින් ද, අන්‍යයන් වෙත දෝෂාරෝපණය කරමින් ද, ගෝඨාභය සහ සජිත් වැනි ජනාධිපති අපේක්ෂකයන්ට මෙම ප්‍රශ්නය මඟහැරීමට ඉඩදීම මගින් අතුරුදන් වූවන්ගේ පවුල්වලට අපිව අත්‍යවශ්‍යම වන මේ අවස්ථාවේ දී අපි ඔවුන්ව අත්නොහැරිය යුතු ය.

රුකී ප්‍රනාන්දු | Ruki Ferando

 

 

සංස්කාරක සටහන : මෙම ලිපිය  2019 ඔක්තෝබර් 20 වැනි දා  මුල්වරට ඉංග්‍රීසි භාෂාවෙන්  සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ   “Top Presidential Candidates Failing Families of Disappeared”   යනුවෙන් ලියුම්කරු විසින් ලියා පළ කොට තිබේ.

Source: vikalpa.org

ජනාධිපති ලෙස පත් වූ පසු ගෝඨාභය විසින් නිදොස් කොට නිදහස් කරන්නට සැරසෙන්නේත්, සජිත් විසින් ආරක්ෂා කරන්නට තැත් කරන්නේත් මෙවැනි “රණවිරුවන්” ද?